2019 වසරේ අග භාගයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වුන කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් - 19 (COVID - 19)  ලෙස නාමකරණය කළ අතර 2020 වසර සහ 2021 වසරේ අග භාගය වන තෙක්ම පැතිර යමින් ලෝකයේ දීර්ඝ කාලයක් පැවති වසංගත රෝගය බවට පත්ව තිබෙනවා.

COVID - 19 වසංගතය ලොව පුරා ජනතාවගේ ජීවන රටාවේ කැපී පෙනෙන වෙනස්කම් සිදුකර තිබෙන අතර තාක්ෂණය හා සම්බන්ධ සේවාවන් වල කැපී පෙනෙන සීඝ්‍ර වර්ධනයක් දැකිය හැකිය. COVID - 19 වසංගත රෝගය ව්‍යාප්ත වීමත් සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති නව ප්‍රවණතා කිහිපයක් ගැන තොරතුරු ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහී අරමුණයි.

01. නිවසේ සිට රාජකාරී කිරීම

කොවිඩ් - 19 වසංගතය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වන විට පැවති තත්ත්වයට මුහුණ දීමට තරම් අත්දැකීම් ශ්‍රී ලංකාව සතුව නොතිබුණ අතර වෛරසය සමාජගත වන මාධ්‍යය පුද්ගලයන් බවට පත්වීම තත්තවය තව තවත් සංකීර්ණ මට්ටමකට පත්වුණි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව පුරා රටවල් අනුගමනය කළ ප්‍රධාන උපායමාර්ගය වූ සංචරණ සීමා පැනවීම ශ්‍රී ලංකාවටද වරින් වර ක්‍රියාවට නංවනු ලැබුවා.

සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාවල විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල කටයුතු බිඳ නොවැටී පවත්වා ගෙන යාම සඳහා පැවති විකල්ප ක්‍රියාමාර්ගය වූයේ “නිවසේ සිට රාජකාරී කිරීමේ” ක්‍රමය ව්‍යාප්ත කිරීමයි. එය ශ්‍රී ලංකාව වැනි රටකට අළුත් අත්දැකීමක් වුවද ලොව දියුණු රටවල් වල බොහෝ තාක්ෂණික සූක්ෂම ව්‍යාපාර ආයතන ඒ වන විටත් අනුගමනය කරමින් තිබූ සාර්ථක ක්‍රමයක් වූයේ නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමයයි. මෙහිදී භෞතික සේවා ස්ථාන වල සේවා නියුක්ත වී සිටි සේවකයන්ට නිවසේ සිට රැකියාවල නිරත වීමේ ක්‍රමයට මාරු වීමට සිදු වූ අතර ශ්‍රී ලංකාවේ පවතින අවම තාක්ෂණික පහසුකම් නිසා මෙම තත්ත්වයට ඉක්මණින් මාරුවීමට තරම් ප්‍රමාණවත් යටිතල පහසුකම් රටතුළ මෙන්ම ආයතනයන්හිද නොතිබුණ නිසා දුෂ්කරතා සහ බාධාවන් රාශියක් පැවති අතර ඵලදායීතාවය පැවතියේද අවම මට්ටමකයි.

විශේෂයෙන්ම සාම්ප්‍රදායික සේවා ස්ථාන වලට හුරුවී සිටි සේවකයන්ට මෙම තත්ත්වයට පරිවර්ථනය වීම අපහසු වූ අතර රාජ්‍ය ආයතන වල මෙහි සාර්ථකත්වය අවම මට්ටමක පැවති බව නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වුවද තාක්ෂණීක සූක්ෂම කර්මාන්ත වල ඵලදායීතාවය සහ කාර්‍යක්ෂමතාවය පහත නොවැටී පවත්වාගෙන යාමට හැකි වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය දැනුම හා ආයතනික පහසුකම්ද ඔවුන් සතු විය. විශේෂයෙන් පරිඝනක මෘදුකාංග (Software) නිෂ්පාදනය, පරිඝනක යෙදුම් නිර්මාණය (Computer Apps), විවිධ ආයතනයන්හි තොරතුරු පද්ධතීන් නඩත්තු කිරීම වැනි තාක්ෂණික සූක්ෂම ආයතන වල කටයුතු වල ප්‍රගතියක් අත්කරගෙන තිබුණි. නමුත් සාධක සූක්ෂම නිෂ්පාදන ආයතන වල (ඇඟළුම් කර්මාන්තය, තේ, රබර්, පොල්, සැකසුම් කර්මාන්ත) කටයුතු විශාල වශයෙන් අඩාල විය. සේවා සැපයීමේ ආයතනවල සහ විශේෂයෙන් රාජ්‍ය ආයතනවල  කටයුතු මන්දගාමී තත්ත්වයට පත් වූ නිසා ඒවායේ සේවා සැපයීම කැපී පෙනෙන ලෙස අඩු කිරීමට සිදු විය.

නිවසේ සිට රැකියා කිරීමේ ක්‍රමය නිසා ආයතනික තොරතුරු පද්ධති සහ ජාල වලට ආරක්ෂිතව ප්‍රවේශ වීම සම්බන්ධයෙන්  සාම්ප්‍රදායික ආයතන මුහුණ දී තිබුණ ගැටළු  තාක්ෂණික සේවා සපයන ව්‍යාපාර ආයතන වල දැකිය නොහැකි විය. බොහෝ සේවකයන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් නොමැති වීම විශාල ගැටළුවක් වූ අතර නාගරික කලාපයට වඩා ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශ වල මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙන බව නිරීක්ෂණය කළ හැකිය.

 නිවසේ සිට රැකියා කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් පවතින අභියෝග අනුව එය පුළුල් වශයෙන් දිගුකාලීනව ක්‍රියාත්මක කිරීමේදී සේවා යෝජකයා හා සේවා දායකයා අතර ඇති හවුල් වගකීම, කැපවීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇතුළු බොහෝ සාධක මත එහි සාර්ථකත්වය රැදී පැවති බව අවධාරණය වේ. නිවසේ සිට රැකියා කිරීම නිසා අත්වන වාසි පැති කිහිපයක් යටතේ පෙන්වාදිය හැකිය.

සේවා නියුක්තිකයන්ට අත්වන වාසි :-

ü  ගමනාගමන කාලය හා වියදම් අඩුවීම.

ü  රැකියාවේ නිරතවන ස්ථානයට වඩා වැඩි පහසුවක් තිබීම.

ü  රැකියාවේ නිරතවන කාලය සම්බන්ධයෙන් පහසුවක් ඇති වීම.

ü  රැකියාව කිරීමේදී විවිධ බාධාවන් අවම වීම. (අසනීප වීම, පෞද්ගලික ගැටළු, අනතුරු අවම වීම)

ü  රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර වැඩි සමබරතාවයක් පවත්වාගත හැකි වීම.

සේවා යෝජකයාට අත්වන වාසි :-

ü  ජලය, විදුලිය වැනි පොදු උපයෝගීතා සේවා සඳහා වන පිරිවැය අඩු වීම.

ü  ව්‍යාපාර ස්ථාන හා කාර්‍යාල පරිශ්‍රයන්ට අදාළ මෙහෙයුම් වියදම් අඩු වීම.

ü  අතිකාල හා ප්‍රවාහන දීමනා වැනි කාර්යය මණ්ඩල වියදම් අඩු වීම.

ü  සේවා නියුක්තිකයන්ගේ ඵලදායීතාවය වැඩි වීම.

ü  සේවකයන් ආයතනය හැරයාම අඩු වීම.

සමස්ථයක් ලෙස රටට අත්වන ප්‍රතිලාභ :-

ü  ස්ත්‍රී ශ්‍රම සහභාගීත්වය ඉහළ නැංවීමට හැකිවීම.

ü  රටේ ශ්‍රම සම්පත භාවිතය ඉහළ යාම.

ü  දිගුකාලීනව ආර්ථික වර්ධනය වේගවත් වීම.

ü  වාහන ගමනාගමනය අඩු වීමෙන් කාබන් විමෝචනය පහළ යාම.

ü  වායු දූෂණය නිසා වන පරීසර දූෂණය පහළ යාම.

ü  රථ වාහන තදබදය අඩු වීම.

ü  ඛණිජ තෙල් ආනයන වියදම අඩු වීම.

ü  නාගරීකරණය අඩු වීම.

පොදු ගැටළු හා දුර්වලතා :-

ü  සියළුම කර්මාන්ත හා වෘත්තීන් සඳහා මෙම ක්‍රමය යොදාගත නොහැකි වීම.

ü  රාජ්‍ය අංශයේ ලිපි ලේඛන හා කාර්‍යය පටිපාටි පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය  නොවීම.

ü  රැකියා ස්ථානයෙන් බැහැරවීම නිසා සිදුවන අතපසු වීම් හා අකාර්යක්ෂමතා ඉහළ යාම.

ü  තොරතුරු හා සන්නිවේදන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම.

ü  තොරතුරු හා සන්නිවේදන සක්ෂරතාවය පහළ මට්ටමක පැවතීම.

ü  ඍජු අධීක්ෂණයක් නොමැති වීම හා පවුලේ වගකීම් සහ රැකියා වගකීම් සම්බන්ධ ගැටළු මතුවීම.

ü  වැඩකරන කාලය හා පටිපාටි පිළිබඳව නිශ්චිත මර්ගෝපදේශ නොමැති වීම.

02. මංගත ඉගෙනීම

පාසල්, විශ්ව විද්‍යාල, පෞද්ගලික අධ්‍යාපන ආයතන හා වෘත්තීය අධ්‍යාපන ආයතන වරින් වර වසා දැමීමට සිදුවීම නිසා සමස්ථ අධ්‍යාපන පද්ධතියම අර්බුධයට ලක් විය. මෙහිදී සූම් (Zoom), ගූගල් පන්ති කාමර (Google Class Room), මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් (Microsoft Team) වැනි තාක්ෂණික ක්‍රම හරහා පාසල් ගුරුවරුන්, අධ්‍යාපන ආයතන වල  දේශකවරුන් විසින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උත්සාහ දරමින් සිටින අතර සිසුන්ද එම තත්ත්වයට අනුගත වෙමින් පවතී.

එහෙත් බොහෝවිට දුරකථන සන්නිවේදන ජාල පුළුල් ලෙස ව්‍යාප්තව නොතිබීම සහ තාක්ෂණික යෙදුම හරහා අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවශ්‍ය උපකරණ නොමැති වීම  සිසුන් මුහුණ දී ඇති බරපතල ගැටළුවකි. පූර්ව ළමාවිය සංවර්ධන ආයතන වලද ඉගැන්වීමේ කටයුතු මංගත ක්‍රමයට පවත්වාගෙන යාමට සිදු වී තිබේ.

මංගත ඉගෙනීම දැනුම හා තොරතුරු හුවමාරු වන වේදිකාවක් වන අතර අධ්‍යාපනයේ ප්‍රධාන නියමු අවස්ථා වන දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ සමබරතාවය බිඳවැටී ඇත. කෙසේ වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වීම වැළැක්වීම සඳහා මංගත ඉගෙනීම ධනාත්මක ප්‍රවේශයක් වී ඇත.

කෙසේ වුවද තාක්ෂණික උපකරණ සමඟ අධ්‍යාපනයේ යෙදීමට සිදුවීම සහ පාසල් පංති කාමරයෙන් දරුවන් නිවෙස් තුළම කොටුවීම නිසා ආතතිය ඇති අතර අන්තර් සම්බන්ධතා නොමැති වීමෙන් මානසික ගැටළු නිර්මාණය විය හැකිය. ක්‍රීඩා, සංගීතය, නායකත්වය, සාහිත්‍ය කුසලතා වැනි විෂය බාහිර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර ඒ සඳහා මංගත ඉගෙනීම සාර්ථක ප්‍රවේශයක් නොවනු ඇත. භෞතික පංති කාමරයකට දරුවන් එකතුවන අවස්ථා වලදී විවිධ ගැටළු හේතුවෙන් මංගත ඉගෙනීම මගහැරුනු දරුවන් මානසිකව ශක්තිමත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය දැනුම ඉක්මණින් ලබාදීමේ වැඩසටහන් පාසල් බලධාරීන් විසින් සැකසීම අනිවාර්‍යයෙන්ම කළ යුතු අතර එසේ නොවුනහොත් එවැනි දරුවන් තවත් පීඩනයට ලක්වන අතර එය ඛේදවාචකයක් වීම දක්වා වර්ධනය වනු ඇත. එවැනි දරුවන් තුළ විශ්වාසය ඇති කිරීම රජයේද වගකීමකි.

03. මංගත වාණිජ්‍යය (විද්‍යුත් වාණිජ්‍යය)

අන්තර්ජාලය හරහා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කරමින් සිදුකරන වෙළෙඳාම් කටයුතු විද්‍යුත් වාණිජ්‍යය වශයෙන් අර්ථ දැක්විය හැකිය. අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ඇණවුම් කිරීමත්, ණයපත් හා හරපත් වැනි විද්‍යුත් ගෙවීම් ක්‍රම මඟින් ගණුදෙනු පීයවීමත් එහීදී සිදුවිය.

“කොවිඩ් - 19” වසංගත තත්ත්වයත් සමඟ සංචරණ සීමා පැනවීම නිසා නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වේගයෙන් මංගත විකුණුම් ක්‍රම වලට නැඹුරු වූ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවියේ සිට ඇඳුම් පැළඳුම්, තාක්ෂණික උපකරණ, විද්‍යුත් උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන, පාසල් උපකරණ, ඖෂධ අළෙවිය සහ පොත් පත් වැනි සෑම ක්ෂේත්‍රයකටම මෙම තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි විය.

විටින් විට විවිධ ප්‍රමාණවලින් පැනවෙන සංචරණ සීමාවන් නිසා ගණුදෙනුකරුවන්ද වේගයෙන් අන්තර්ජාල  මිලදී ගැනීම් වලට යොමු වූ අතර විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා නිෂ්පාදිත පිළිබඳ තොරතූරු හුවමාරු වීම, Whatsapp, Massenger, වැනි මාධ්‍ය වලින් භාණඩ හා සේවා ඇණවුම් කිරීමේ ක්‍රම බහුල විය. Face Book වැනි සමාජ මාධ්‍ය වලින් අනුග්‍රාහකත්ව (Sponsor) පදනම යටතේ ගැනුම්කරුවන් වෙත ඉතා පහසුවෙන් තම නිෂ්පාදිත හඳුන්වාදීමේ ප්‍රවණතාවය වර්ධනය වෙමින් පවතී.

ගණුදෙනුකරුවන් සහ අළෙවිකරුවන් ඉතා වේගයෙන් කෙටිකාලයක් තුළ මංගත වෙළෙඳාමට යොමු වීම නිසා විද්‍යුත් වාණිජ්‍යයේ පෙර තිබූ විද්‍යුත් ගෙවීම් ක්‍රම වෙනුවට ගැනුම්කරුවා වෙත අදාළ භාණ්ඩය කූරියර් සේවා මඟින් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව වර්ධනය වීමත් සමඟ මංගත වාණිජ්‍යයේ ව්‍යාප්තිය ඉතා වේගවත් විය. ණයපත් හරපත් වැනි විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතයෙන් තොරව ගෙවීම් කළ හැකි වීම නිසා විද්‍යුත් ගෙවීම් පහසුකම් නොමැති පුද්ගලයන් පවා මංගත මිළදී ගැනීම් සඳහා ආකර්ෂණය කරගත හැකි විය. එය සුභවාදී ප්‍රවේශයකි. එමෙන්ම සර්පිලාකාර අළෙවිකරණය (Viral Marketing) ව්‍යාප්තවීමද දැකිය හැකි විය. Whatsapp, Massenger  වැනි මාධ්‍යය හරහා නිෂ්පාදිත පිළිබඳ තොරතුරු ස්වේච්ජා පදනමකින් එම පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් අතර වේගයෙන් හුවමාරු වෙමින් තොරතුරු ව්‍යාප්ත වීම සර්පිලාකාර අළෙවිකරණයයි. විවිධ නිෂ්පාදිත වල අඩුපාඩු සහ අළෙවිකරුවන්ගේ දුර්වලතාද මෙම ක්‍රමය හරහා වේගයෙන් ව්‍යාප්ත වීම ඇතැම් අළෙවිකරුවන්ට විශාල අවාසියක් වූ අතර පාරිභෝගිකයාට නිවැරදි මිලදී ගැනීමක් සඳහා ඇති ඉඩකඩ පුළුල් වීම වාසියක් ලෙස සැළකිය හැකිය.

මංගත වාණිජ්‍යයේ ව්‍යාප්තියත් සමඟ කූරියර් සේවා සහ තැපැල් සේවා සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගිය අතර කූරියර් සේවා (දූත සේවා) සපයන ආයතන වල කටයුතු පුළුල් විය. කූරියර් සේවා ආශ්‍රිත ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා බිහිවීමේ වර්ධනයක්ද දැකිය හැකිය.  

04. ගිග් ආර්ථික කටයුතූ වල ව්‍යාප්තිය

සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවති සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව ශ්‍රම වෙළෙඳපොලේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයන් පිරිසකගෙන් සහ ස්වාධීනව කොන්ත්‍රාත්කරුවන් බහුලව විවිධ ආර්ථීක ක්‍රියාකාරකම්  ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් ගිග් ආර්ථිකයක් ලෙස හැඳින්විය හැකිය. ගිග් ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාල වේදිකා හරහා වක අතර නව තාක්ෂණය සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති වූ පරිවර්ථනයකි.

පුද්ගලයන් ගිග් ආර්ථික කටයුතු වල නිරත වීමට හේතු:-

·         තමන් කැමති වේලාවක වැඩ කිරීමට හැකි වීම.

·         රැකියාවක් සොයන අතර  තුර ඉපැයීමට හැකි වීම.

·         අතිරේක ආදායම් මාර්ගයක් ලෙස යොදාගත හැකි වීම.

·         ස්වයං නිෂ්පාදන සඳහා වෙළෙඳපොලක් නිර්මාණය කරගත හැකිවීම.

COVID - 19 ව්‍යාප්තියත් සමඟ සුපුරුදු දෛනික රැකියා අහිමි වූ බොහෝ පිරිසක් ගිග් ශ්‍රමිකයන් බවට පත් වූ අතර ගිග් සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ගිග් ආර්ථික කටයුතු වේගයෙන් ව්‍යාප්ත විය. විශේෂයෙන් මගී ප්‍රවාහන කටයුතූ, ආහාර පාන බෙදාහැරීම, පාර්සල් ප්‍රවාහනය ආශ්‍රිත කටයුතු කැපී පෙනෙන ලෙස වර්ධනය විය. Uber Taxi, Uber Eats වැනි ප්‍රවාහන සේවාවන් ගීග් ආර්ථිකය තුළ ඉහළ ආදායම් උපයමින් සිටින අතර ඒ හා සම්බන්ධ ගිග් ශ්‍රමිකයන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇත.

05. මංගත බැංකුකරණය (E - Banking)

COVID - 19 ව්‍යාප්තිය සමඟ ගණුදෙනුකරුවන් සමඟ බැංකු වල ඍජු සබඳතා සහ භෞතික ගණුදෙනු  ක්‍රියාවලිය සැළකිය යුතු ලෙස අඩු විය. වරින් වර පනවන ලද සංචරණ සීමා සහ බැංකු තුළ රඳවා ගත යුතු ගණුදෙනුකරුවන් ප්‍රමාණය සීමා කිරීම හමුවේ ඩිජිටල් බැංකු සේවා පුද්ගලයන් අතර ව්‍යාප්ත වීම වේගවත් විය.

වාණිජ බැංකු තම ඩිජිටල් බැංකු සේවා නවීකරණය කිරීමට පෙළඹුනු අතර ඉන් වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සැපයිය හැකිවිය. පවත්නා අභියෝග වලට ගැළපෙන පරිදි නව්‍ය බැංකු සේවාවන් හඳුන්වා දීමටද ඇතැම් බැංකු යොමු විය. සම්පත් බැංකුව හඳුන්වා දී ඇති  QR Code භාවිතයෙන් ‘WePay Touchless’ බැංකු පහසුකම් නවතම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

ස්වයංක්‍රීය බැංකු පහසුකම් යන්ත්‍ර භාවිතය සහ වාණිජ බැංකු වෙබ් අඩවි  හරහා ගණුදෙනු  සිදු කිරීමේ ප්‍රවණතාවය කැපී පෙනෙන ලෙස වර්ධනය විය.

COVID - 19 ව්‍යාප්තියේ ආර්ථික බලපෑම හා බැංකු අවදානම:-

COVID - 19 ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටවල් අනුගමනය කළ සංචරණ සීමා පැනවීම නිසා දේශසීමා අතර පුද්ගලයන් සහ භාණ්ඩවල සංචරණය සීමා වූ අතර ලොව පුරා ආර්ථීක සහ වෙළෙඳ කටයුතු අඩාල විය. ඍජු විදේශ ආයෝජන, සංචාරක ඉපැයීම්, විදේශ ප්‍රේෂණ වල අඩු වීම නිසා නැගී එන රටවල ආර්‍ථිකයන්ට අහිතකර ලෙස බලපා ඇත. ගෝලීය නිෂ්පාදිතය හා රටවල දළ දේශීය නිෂ්පාදිතය සීඝ්‍ර ලෙස පහත වැටීම තව දුරටත් සිදුවනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථීකය  යථා තත්ත්වයට පත් වීම අපේක්ෂිත කාලයටත් වඩා දීර්ඝ වනු ඇත. COVID - 19 ව්‍යාප්තියේ අවිනිශ්චිත බව හා දීර්ඝ ස්වභාවය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

COVID - 19 ව්‍යාප්තිය හේතුවෙන් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් සහ ඉපැයීමේ හැකියාවන් අහිතකර ලෙස බලපෑමට ලක් වී ඇති අතර ඔවුන් ණය වාරික ආපසු ගෙවීම අසීරු වී ඇත. ණය අවදානම් බර තැබීම් හා ප්‍රාග්ධනය කෙරෙහී ඇති කරන බලපෑම තක්සේරු කිරීම අපහසු වී ඇත. එය බැංකු වල මුදල් ප්‍රවාහයන්ට හා ද්‍රවශීලතා තත්ත්වයන්ට  අහිතකර ලෙස බල පා ඇත. ගෝලීය වසංගතය හා ඉන් ඇති කරන ආර්ථික හානිය යථා තත්ත්වයට  පත්වීම අවම වශයෙන් තවත් වසර 05ක් වත් ගතවනු ඇත. ඒ සඳහා ද දීර්ඝ කාලීන දැක්මක් සහිත වඩාත ප්‍රායෝගික දූෂණයෙන් තොර ආණ්ඩුකරණයක් අවශ්‍ය වේ.


සටහන 

බුද්ධික කොඩිතුවක්කු