'GIG ECONOMY' නැතහොත් 'ගිග් ආර්ථිකය' ඇත්තටම අපි එතරම් අහල පුරුදු නැති වචනයක් වුවත්, අපගේ එදිනෙදා ආර්ථික කටයුතු වලදී නිතර ගණුදෙනු සිදු කෙරෙන ආර්ථික කටයුත්තක් බව ඔබ දැන සිටියාද?.  

වර්තමානය වන විට මිනිසා තාක්ෂණික වශයෙන් ඉහළ සාක්ෂරතාවක් ළගාකරගෙන ඇති අතර, කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්වයත් සමඟ ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ සන්නිවේදන ක්‍රම ඉතා වේගයෙන් රටපුරා ව්‍යාප්තව පවතින බව කිව යුතු ය.  තාක්ෂණික උපකරණ භාවිතය ඉහළ යාම, ජීවන රටාවන් සංකීර්ණ වීම මෙන්ම ගෝලීය වෙළෙඳපොළ අවකාශයක් නිර්මාණය වීම යනා දී හේතූන් මත, සමාජයේ ජීවත්වන පුද්ලයින් විකල්ප ආදායම් උපයා ගැනීමේ අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කරන්නට විය. ඒ අනුව, තම ජිවන තත්ත්වය උසස් කර ගැනිමේ අරමුණින් කටයුතු කරන පුද්ගලයින්, විවිධ ආදායම් ඉපයීමේ මාර්ගයන් මෙන්ම, තම කාර්යයන් පහසු කර ගැනීමේ හැකියාව ඇති විවිද ක්‍රමවේදයන් පිළිබඳ සැලකිල්ල දක්වන්නට විය. 

ඒ අනුව, ඩිජිටල් තාක්ෂණයේ ක්‍රමික වර්ධනයත්, වෙළෙඳපොළේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා වුවමනා වඩාත් කාර්යක්ෂම ලෙස සපුරාදෙන සේවාවන් හඳුනාගැනීමත්, යන  කරුණු මත විවිධ පුද්ගලයන් හා ආයතන සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් විවිධ ව්‍යාපාර අවස්ථාවන් වල ආයෝජනය කිරීම මඟින් 'ගිග් ආර්ථිකයේ  පසුබිම නිර්මාණය වූ බව කිවහැකි ය

ගිග් ආර්ථිකයක් යනු...

ගිග් ආර්ථිකය (Gig Economy) යනුවෙන් අඳහස් කරන්නේ, සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් හා ස්වාධීන වූ කොන්ත්‍රාත්කරුවන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකය කි. 

එනම්, තම අභිමතය පරිදී නිදහසේ කටයුතු කිරිමට හැකියාව ඇති ගිග් ශ්‍රමිකයන් බහුලව දක්නට ලැබෙන ආර්ථිකයක් ලෙස හඳුන්වා දිය හැකි ය. මෙහිදී ගිග් ආර්ථිකය "අන්තර්ජාල වේදිකාව", "හවුල් ආර්ථිකය (Sharing Economy)" හෝ "ඉල්ලුම් පදනම් කරගත් ආර්ථිකය (On-Demand Economy)" වැනි නාමයන්ගෙන් ද හඳුන්වනු ලැබේ. 

මේ පිළිබඳ උදාහරණ කිහිපයක් මඟින් පැහැදිළි කර ගත හැකිය, 

  • කිසියම් පුද්ගලයෙක් තමන්ගේ අවශ්‍යතාවය මත පෞද්ගලික පරිභෝජනයට මිලදී ගන්නා මෝටර් රථය, කුලී පදනම මත සේවා සැපයිමට යෙදවීම මඟින් ආදායම් ඉපයීම. 

  • පුද්ගලයෙකු විසින් තම නිවසෙන් කොටසක් හෝ නිවසම හෝ කුලී පදනම මත තවත් පුද්ගලයෙකුට නවාතැන් පහසුකම් සලසා දි එමඟින් ආදායම් උපයා ගැනීමට කටයුතු කිරීම ද පෙන්වා දිය හැක. 

නමුත් පුද්ගලයෙකුගෙන්, පුද්ගලයෙකුට සපයන ඕනෑම සේවාවක් සහ අන්තර්ජාල වේදිකා (platforms) හරහා සෘජුවම නිදහස් ශ්‍රමිකයන් සපයන ඕනෑම සේවාවක් ‍ගිග් ආර්ථිකයේ පුළුල් නිර්වචනය තුළට අන්තර්ගත විය හැක. එය වර්තමාන ව්‍යාපාර ලෝකයේ නව තාක්ෂණයත් සමග සිදුවන විශාල පරිවර්තනයක් ලෙස පෙන්වා දිය හැකි ය. 

ගිග් ශ්‍රමිකයාව හඳුනා ගන්නේ කෙසේද?

ගිග් ශ්‍රමිකයා සහ සම්ප්‍රධායික ශ්‍රමිකයා අතර පවත්නා වෙනස්කම්. 

ගිග් ආර්ථිකයක් තුළ සාම්ප්‍රදායික ශ්‍රමිකයින්ගෙන් තොර වූ තාවකාලික තනතුරු බහුලව දැකිය හැකි නිදහස් ශ්‍රම වෙළෙඳපොළ පද්ධතියකින් සමන්විත වූවක් වන අතර, එහිදී ගිග් ශ්‍රමිකයා සහ සාම්ප්‍රදායික ශ්‍රමිකයා අතර වඩාත් පැහැදිළි වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ශ්‍රමිකයා තම සේවාව සපයනු ලබන්නේ කිසියම් වැඩ මේසයකට ලඝුව ය. එහිදි පුරෝකථනය කළ හැකි වැඩ කාලයක් මෙන්ම රාජකාරී ප්‍රමාණයකින් යුක්තව කටයුතු කරන අතර, ඒ් සඳහා ඇස්තමේන්තු කළ හැකි ආදායම් මට්ටමක් ද පවතිනවා. නමුත් ගිග් ආර්ථික ක්‍රියාකරුවන් එකී සියලුම රාමූවන්ගෙන් තොරව තමන්ගේ අභිමතය පරිදී වැඩ කිරීමට හැකියාව ඇති පරිසරයක කටයුතු කරනවා. එහිදී ඔවුන්ගේ වැඩ කරන කාලය, ස්ථානය සහ ප්‍රමාණය මෙන්ම තම රාජකාරිය ඉටු කරන විලාසයද තීරණය කරනු ලබන්නේ ගිග් ශ්‍රමිකයාගේ කැමැත්ත මතයි. 

අබාධ පිවිසුමක් වගේම අබාධ පිටවුමක් පවතින මෙම ආර්ථික ක්‍රියාවලිය ගිග් ශ්‍රමිකයා තුළ පවත්නා ස්වාධිනත්වය තහවුරු කරන ව්‍යාපාරයක් මෙන්ම තම ආදායම සිදුකරන කාර්යයේ ප්‍රමාණය මත තීරණය කිරීමට ද හැකියාව පවතී. 

ගිග් ශ්‍රමිකයාව නිර්වචනය කළ හැකිද?

ගිග් ආර්ථිකයේ වැඩ කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කිරීම ඉතා දුෂ්කර ය.  “GIG WORKER” යන යෙදුම මඟින් සේවක තත්වයන් ගණනාවක් ආවරණය කරන බැවින්, නිදහස් සේවකයා, තාවකාලික සේවකයා සහ කොන්ත්‍රාත් සේවකයා යන සියල්ලම ගිග් ආර්ථිකයේ කොටසක් විය හැකිය. එය යම් නිශ්චිත මොහොතක, කිසියම් ආර්ථික කටයුත්තක් කුමන ගිග් ශ්‍රමිකයා විසින් කුමන ආකාරයට අනුව සිදු කරන්නේ ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට හැකියාවක් නැත.  මේ හේතුවෙන් ගිග් ශ්‍රමිකයා කවරෙක්ද යන්න නිශ්චිතව නිර්වචනය කිරීම දුෂ්කර වී ඇත.

එසේ වුවද, ගිග් ආර්ථිකයට පිරිමින් සහ කාන්තාවන් එක හා සමානව සහභාගී වන නමුත් ඔවුන් කුමන ආකාරයේ ගිග් සේවාවන් ලබා ගන්නේද, ලබා දෙන්නේ ද යන්නෙහි වෙනස්කම් පවතී. පිරිමින් වැඩිපුරම ශ්‍රම දායකත්වය ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන අතර කාන්තාවන් සෘජු අලෙවිකරණ කටයුතු හා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට වැඩි කැමැත්තක් දක්වයි. එහිදී, කාන්තාවන්ට වඩා පිරිමින් පූර්ණ කාලීන ආදායම් සඳහා ගිග් කාර්යයන් තුළ නිරත වී සිටින අතර, කාන්තාවන් එහි අර්ධකාලීනව හෝ අතිරේක ආදායම් සඳහා වැඩ කිරීමට නැඹුරු වූවන් ලෙස හඳුනාගත හැකිය. එය වර්තමානයේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් තාක්ෂණික මෙවලම් භාවිතයේ පවත්නා දියුණුවත් සමඟ ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක වන දැකිය හැකිය. 

ඒ අනුව, සමහර අධ්‍යයන මගින් ගිග් ආර්ථිකයට කම්කරුවන් කොපමණ සංඛ්‍යාවක් සහභාගී වේදැයි විමසා බැලීමක් සිදු කරන ලදී. එයට කදිම උදාහරණය වනුයේ, ඇමරිකානු මාණ්ඩලික සංගමය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින්, ඇමරිකානුවන්ගෙන් බහුතරයක් (78%) පමණ ගිග් ආර්ථික කටයුතුවල නියැලෙන බව හෙළි කරගෙන තිබේ. 

පුද්ගලයෙකු ගිග් ආර්ථික කටයුතු වල නිරත වීමට හේතු

👉තමන් කැමති වේලාවක වැඩ කිරීමට හැකි වීම.

👉 කාර්යයෙහි විවිධත්වයක් පැවතීම.

👉 අතිරේක ආදායම් මාර්ගයක් ලෙස යොදා ගත හැකි වීම.

👉නිදහස් මෙන්ම නම්‍යශීලී වැටුප් කාලසටහනක් පැවතීම.

👉රැකියාවක් සොයන අතර තුර ඉපැයීමට හැකි වීම.

👉රැකියාව සහ පුද්ගලික ජීවිතය සමබරව පවත්වා ගැනීමට හැකි වීම.

👉ස්වයං නිෂ්පාදනයන් සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමට හැකි වීම.

           

ගිග් සේවාවන් ලබා දෙන කර්මාන්ත මොනවාද?

ගිග් ආර්ථික කටයුතු දිනෙන් දින පුළුල් වීමේ දී ගිග් සේවාවන් ලබා දෙන කර්මාන්ත ප්‍රමාණයද දිනෙන් දින වර්ධනය වේ. කෙසේවෙතත්, අවසානයේදී ගිග් වැඩ බහුලව දක්නට ලැබෙන්නේ කෙටි කාලයක් තුළ සේවාව සම්පූර්ණ කළ හැකි, සේවකයින්ගේ ඉහළ පිරිවැටුමකට දායක වන්නාවූ ඉහළ ඉල්ලුමක් පවතින කර්මාන්ත සඳහා පමණී. 

ඒ අනුව, වර්තමානය වන විට ආර්ථිකයේ හඳුනාගත් ජනප්‍රිය ගිග් ආර්ථික කාර්යයන් ලබා දෙන කර්මාන්ත පහත පරිදී වර්ගීකරණය සිදුකළ හැකිය.

  1. ප්‍රවාහනය: ගිග් වැඩ සඳහා වඩාත් ප්‍රකට උදාහරණය ප්‍රවාහනයයි. ප්‍රවාහන සේවා ලබා දීම සහ ඉල්ලුම මත ආහාර බෙදා හැරීමේ කාර්යයන් සිදු කරන සේවකයින් මෙම ගිග් ආර්ථිකයට වැටේ.
  2. පරිගණකකරණය/ තොරතුරු තාක්‍ෂණය: බොහෝ ව්‍යාපාර මෘදුකාංග සංවර්ධනයේ සිට වෙබ් අඩවි නිර්මාණය දක්වා සියල්ල සම්පූර්ණ කිරීමට ගිග් කම්කරුවන් වෙත යොමු වේ.
  3. ඉදිකිරීම්: බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවත්නා කෙටිකාලීන ස්වභාවය මත ගිග් කම්කරුවන්ගේ සඳහා තේරීමක් පවතී.
  4. මාධ්‍ය: ලේඛකයින්, ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝ සංස්කාරකවරුන් යන සියල්ලන්ම කෙටි කාලීන පදනමින් කුලියට ගනු ලැබේ. තොරතුරු තාක්ෂණ සේවයට සමාන ආකාරයකින් මෙම ගිග් කම්කරුවන් බොහෝ විට දුරස්ථව වැඩ කරති.
  5. කලාව: චිත්‍ර ශිල්පියෙක් මුදල් උපයන්නේ නම්, ඔවුන් බොහෝ විට ගිග් කම්කරුවෙකු ලෙස කටයුතු කරනු ඇත. මෙම කාණ්ඩයට සංගීතඥයින්ගේ සිට චිත්‍ර ශිල්පීන් දක්වා සියල්ල ඇතුළත් වේ.

මෙය එක් එක් රටවල පවත්නා ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටපිටාව මත ඒ ඒ කර්මාන්තයන්හී ගිග් ආර්ථික කටයුතු පුළුල් වනු ඇත. 

ගිග් ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය

ගිග් කම්කරුවෙකු කුමන කර්මාන්තයක සිටියත්, ගිග් ආර්ථිකය සමන්විත වන්නේ සේවකයා සම්පූර්ණ කරන කුඩා කාර්යයන් මගිනි. මෙම කාර්යයන් සිල්ලර බඩු ලබා ගැනීමේ සිට පරිගණක කේත ලිවීම දක්වා ඕනෑම දෙයක් විය හැකිය. ගිග් කම්කරුවෙකුට නියමිත පැය ගණනක් (වැඩ මුරයක් තෝරා ගැනීම වැනි) වැඩ කිරීමට හෝ ව්‍යාපෘතිය අනුව වැඩ කිරීමට තෝරා ගත හැකිය. එක් ගිග් ආර්ථික ක්‍රියාවක් අවසන් වූ පසු, ඉන්පසු ඔහු විසින්  තෝරාගත් ඊළඟ හොඳම විකල්ප ගිග් සේවය සඳහා ගමන් කරයි. එය එකම සමාගමක තවත් කාර්යයක් විය හැකිය, නැතහොත් වෙනත් සමාගමක සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයක් විය හැකිය.

බොහෝ අවස්ථාවන්හීදී, ගිග් කම්කරුවාගේ වැඩ කරන පැය ගණන තමන් සිදු කරන සාම්ප්‍රධායික රැකියාව මත අඩු හෝ වැඩි විය හැක. එසේ නැතහොත් දීර්ඝ කාලීන ගිග් ශ්‍රමිකයාට එය කිසිසේත් අදාළ වන්නේ ද නැත. එනම්, වැඩ කරන කාලය තමන්ගේ විවේක කාලය කැප කිරීමේ ධාරිතාවය හා තම සේවා ඉල්ලුම මත ගොඩ නැගී ඇති බැවිනි. 

ශ්‍රී ලංකාවේ ගිග් ආර්ථික කටයුතුවල වර්තමාන ප්‍රගතිය

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද ඩිජිටල් තාක්ෂණ සාක්ෂරතාව ඉහළ යාම මත සේවාලාභීන් සහ ශ්‍රමිකයන් අතර තොරතුරු හුවමාරුවේ පවත්නා අසමමිතිකබව ඉවත් වී ගොස් ආර්ථික සේවාවන් වඩාත් සුමට වීමේ ප්‍රවනතාවයක් දැක ගත හැකි වේ. එහිදී, සේවාලාභීන් හට වැඩ මේසයකට කොටුවී සිටින සේවකයන් නඩත්තු කිරීමේ ක්‍රියාවෙන් බැහැරව, ඩිජිටල් වේදිකාව හරහා අවශ්‍යතාවය පරිදී ගිග් සේවා සපයන්නන්ගෙන් සේවා ලබා ගැනිමට හැකි විමෙන් ඔවුන්ගේ වැටුප් වියදම ද නම්‍යශිලී කර ගැනීමට හැකියාව ලැබී ඇත. 

ඒ සදහා වඩාත් පැහැදිළිම උදාහරණයක් ලෙස වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය සේවාවක් වන ටැක්සි සේවාව ගත හැකි ය. විවිධ සන්නම් නාම හරහා ජනප්‍රිය වී ඇති ප්‍රවාහන සේවා (උදා : Uber taxi, Uber eats) සපයන ආයතන අද වන විට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පවතී. එහිදී, සේවාලාභීන් හට තමන්ගේ කාර්ය මණ්ඩලය නඩත්තු කිරිමක් සිදු කළ යුතු නැත. එය ඩිජිටල් වේදිකාව හරහා ක්‍රමාණුකූලව නියාමනය වන අතර ඒ හරහා සේවා සපයන ශ්‍රමිකයන් ද, කිසියම් ආයතන රාමුවකට කොටු නොවී ස්වාර්ථය මත කටයුතු කිරීමට හැකියාව ලැබි ඇත. 

ඒ හරහා සේවය ලබන පාරිභෝගිකයා ද තම අභිමතය පරිදි ඩිජිටල් වේදිකාව හරහා පහසුවෙන්ම සේවා ලබා ගැනිමට හැකියාව ලැබී ඇත. එමගින් ඉපයිම මෙන්ම වැඩ කරන වේලාව සම්බන්ධව පවත්නා නම්‍යශීලී බව නිසාම, රැකියාව සහ පෞද්ගලික ජීවිතය සමතුලිතව වඩාත් හොදින් පවත්වා ගැනීමට හැකි වී ඇත.  මේ හේතුවෙන් සේවා සපයන්නන් ද ගිග් ආශ්‍රිත රැකියා වලට වැඩි කැමැත්තක් දැක්වීමද මෙමඟින් සිදු වී ඇත.

ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසක් තම අවශ්‍යතාව පරිදී ඩිජිටල් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා ලබා ගැනීම සිදු කරනු ලබයි. එහිදී කුලී රථ, ආහාර ද්‍රව්‍ය  ඇණුවුම් කර නිවසටම ගෙන්වා ගැනීම, අධ්‍යාපනික සේවාවන් ලබා දීම, සෞඛ්‍ය උපදේශණයන් ලබා ගැනීම, මාර්ගගත ක්‍රමය හරහා අලෙවි අතරමැදිකරණය සිදු කිරීම, නිර්මාණ ප්‍රදර්ශණය හා අලෙවි කිරීම, තාක්ෂණික  මෘදුකාංග සංවර්ධනය සහ වෙබ් අඩවි නිර්මාණකරණය බහුල වශයෙන් දැකගත හැකිය.  

තාක්ෂණ සාක්ෂරතාවයේ ප්‍රවනතාවයන් සඳහා තරුණ තරුණියන්ගේ දායකත්වයේ විශාල ඉහළ යාමක් දැක ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව, ඉතාමත් අඩු වයසින් ඉහළ ආදායම් උපයන තරුණ තරුණියන් වර්තමානය වන විට බිහි වීම ද සතුටට කරුණකි. 


සටහන
ශානිකා ජයසූරිය
BA(Econ) & MA Ruhuna, DPA USJ

♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️

ආශ්‍රිත ග්‍රන්ථ,

  1. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව - 2019
  2. https://whatis.techtarget.com/definition/gig-economy
  3. https://www.embroker.com/blog/what-is-the-gig-economy/
  4. https://www.makeuseof.com/what-is-the-gig-economy/
  5. https://www.careeraddict.com/gig-economy-jobs
  6. https://en.wikipedia.org/wiki/List_of_gig_economy_companies
  7. https://en.wikipedia.org/wiki/Gig_worker#Advantages_and_disadvantages